ජාත්‍යන්තර අවධානයට ලක්වූ “එහිපස්සිකෝ සාම පා ගමන” (Ehipassiko Walk for Peace) දෙවැනි දිනය වන අද (අප්‍රේල් 23) මාතලේ ඓතිහාසික අලුවිහාර විහාරස්ථානයේ සිට මහනුවර ශ්‍රී දළදා මාළිගාව දක්වා ගමන් කිරීමට නියමිතය.
වියට්නාමයේ පන්නාකර හිමියන්ගේ නායකත්වයෙන් යුත් භික්ෂු පිරිසක් විසින් මෙහෙයවනු ලබන මෙම පා ගමන ඊයේ (අප්‍රේල් 22) දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ විය. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුරයක් ද වැඩම කරවමින් සිදුකෙරෙන මෙම අධ්‍යාත්මික පා ගමනේ අරමුණ වන්නේ රට තුළ සමගිය, කරුණාව සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීමයි. “ආලෝක” නම් සුනඛයෙකු ද මෙම පා ගමනට එක්ව සිටීම විශේෂත්වයකි.
මීට පෙර මෙම භික්ෂු පිරිස ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් සිට වොෂින්ටන් දක්වා දින 110ක සාම පා ගමනක නිරත වෙමින් ජාත්‍යන්තර අවධානය දිනාගත්හ. ශ්‍රී ලංකා රජයේ පූර්ණ අනුග්‍රහය ඇතිව සංවිධානය කර ඇති මෙම සාම පා ගමන ලබන අප්‍රේල් 28 වැනිදා දක්වා දිවයිනේ ප්‍රධාන නගර රැසක් හරහා ගමන් කිරීමට නියමිතය.















