ඉරානයට එරෙහිව පනවා ඇති සමුද්‍රීය අවහිර කිරීම් උල්ලංඝනය කරමින් ගමන් කළ ඉරාන ධජය සහිත දැවැන්ත තෙල් නැව් තුනක් ආසියානු මුහුදු තීරයේදී ඇමෙරිකානු හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පසුගිය බදාදා වාර්තා විය. ඉන්දියාව මැලේසියාව සහ ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු කලාපවල ගමන් කරමින් තිබූ මෙම නැව් ඔවුන් සිටි ස්ථානවලින් ඉවතට හරවා යැවීමට ඇමෙරිකානු හමුදා කටයුතු කර ඇත. ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ ඉරානයේ මුහුදු වෙළෙඳාමට ඇමෙරිකාව තහංචි පනවා ඇති අතර ලෝකයේ තෙල් සහ ගෑස් සැපයුමෙන් පහෙන් එකක් ගමන් කරන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් මේ වන විට ගෝලීය බලශක්ති අර්බුදයක් නිර්මාණය වී තිබේ.
අත්අඩංගුවට ගත් නැව් අතර Dorena සුපිරි නෞකාව ප්‍රධාන වන අතර බොරතෙල් බැරල් මිලියන 2ක් රැගත් මෙම නෞකාව දකුණු ඉන්දියානු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන ඇත. දැනට එය ඇමෙරිකානු නාවික හමුදා විනාශකරි නෞකාවක ආරක්ෂාව යටතේ පවතින බව ඇමෙරිකානු මධ්‍යම අණසක තහවුරු කළේය. මීට අමතරව මැලේසියානු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී Deep Sea නෞකාව සහ Sevin නෞකාව ද අත්අඩංගුවට ගෙන ඇති අතර එම නැව් මඟින් විශාල වශයෙන් ඉරාන තෙල් ප්‍රවාහනය කරමින් තිබුණි.
ඉන්දියාවට ඉරාන තෙල් ලබාදීම සඳහා පනවා තිබූ සහනය පසුගිය ඉරිදා අවසන් වූ බැවින් Derya නෞකාව ද ඇමෙරිකානු හමුදා භාරයට ගෙන ඇති බවට සැක කෙරේ. ඇමෙරිකානු මධ්‍යම අණසක පවසන පරිදි මෙම අවහිර කිරීම් ආරම්භ කළ දින සිට මේ දක්වා ඉරාන වරායන් වෙත ඇතුළු වීමට හෝ පිටවීමට උත්සාහ කළ නෞකා 29ක් හරවා යැවීමට ඔවුන් පියවර ගෙන ඇත. හෝමුස් සමුද්‍ර සන්ධිය තුළ පවතින මුහුදු බෝම්බ අවදානම මගහැරීම සඳහා ඇමෙරිකානු හමුදා මෙලෙස ඉරාන නැව් ඉලක්ක කරන්නේ විවෘත මුහුදු කලාපවලදීය.














