නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහල් පරිශ්‍රයෙන් බැහැරවන වැසිකිලි සහ සායනික අපද්‍රව්‍ය සහිත අපජලය නාවලපිටිය කොත්මලේ ප්‍රධාන මාර්ගයට ගලා ඒම හේතුවෙන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සහ නිවැසියන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. රෝහල් පරිශ්‍රයේ ඇති ජලාපවාහන පද්ධතිය උතුරා ගොස් ප්‍රධාන මාර්ගය දිගේ ගලායාම නිසා පාරිභෝගිකයන් වෙළඳසැල් වෙත පැමිණීම මගහැර ඇති බවත් එම අපජලය පාසල් දරුවන්ගේ පවා සිරුරේ තැවරෙන බවත් වෙළෙඳ සංගමය චෝදනා කරයි.
රෝහලේ සිට මීටර් 500ක් පමණ දුරින් පිහිටි අපජල පිරිපහදු ඒකකය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත. මේ වන විට රෝහලේ අපජලය ජයතිලක ක්‍රීඩාංගණයේ කානු පද්ධතිය හරහා කිසිදු පිරිපහදුවකින් තොරව මහවැලි ගඟට එක්වන බව ද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. පසුගිය වසරේදී මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී තුෂාරි ජයසිංහ ඇතුළු පිරිසක් මේ පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක නිරත වී කඩිනම් විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වුවත් මෙතෙක් කිසිදු ප්‍රගතියක් සිදුව නොමැති බව ජනතාව පවසති.
නාවලපිටිය දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂ ජානක සෝමරත්න මහතාගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ රෝහලේ සිට පිරිපහදු ඒකකය වෙත ජලය රැගෙන යන නල මාර්ගය මත අනවසර වෙළඳසැල් පේළියක් ඉදිකර ඇති බැවින් නඩත්තු කටයුතු කිරීම ප්‍රායෝගිකව අපහසු වී ඇති බවයි. මේ සඳහා විසඳුමක් ලෙස විකල්ප නල පද්ධතියක් ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ක්‍රියාවලිය සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ආරම්භ කර ඇති බවත් එතෙක් නඩත්තු කටයුතු සඳහා නගර සභාවේ සහාය ඉල්ලා ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














