ඉංග්‍රීසි ඇල මාර්ගය (English Channel) හරහා සිදුවන නීති විරෝධී සංක්‍රමණ පාලනය කිරීම සඳහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය අතර වසර තුනක නව ආරක්ෂක ගිවිසුමක් බදාදා (අප්‍රේල් 22) අත්සන් කර තිබේ. මෙම ගිවිසුම යටතේ බ්‍රිතාන්‍යය විසින් ප්‍රංශයට පවුම් මිලියන 660 ක (ඩොලර් මිලියන 892 කට ආසන්න) මුදලක් ලබා දීමට නියමිතය.
පසුගිය 2025 වසරේදී පමණක් පුද්ගලයන් 41,000 ක් පමණ කුඩා බෝට්ටු මඟින් නීති විරෝධී ලෙස ප්‍රංශයේ සිට බ්‍රිතාන්‍යයට පැමිණ ඇති බව නිල දත්ත පෙන්වා දෙයි. මෙය 2022 වසරේ වාර්තා වූ ඉහළම සංක්‍රමණික සංඛ්‍යාවට ආසන්න අගයකි.
ආරක්ෂක වැඩපිළිවෙළ සහ ප්‍රතිපාදන වෙන්වීම
මෙම අරමුදල්වලින් පවුම් මිලියන 500 ක් උතුරු ප්‍රංශයේ වෙරළ තීරයන්හි ආරක්ෂාව තර කිරීම සඳහා යොදා ගැනේ. ඒ යටතේ පොලිස්, බුද්ධි සහ යුද හමුදා නිලධාරීන් 1,100 ක් පමණ අලුතින් සේවයේ යෙදවීමට නියමිතය. ඉතිරි පවුම් මිලියන 160 ක මුදල ලබා දීම තීරණය වන්නේ මෙම නව ක්‍රියාමාර්ග හරහා සංක්‍රමණිකයන් පාලනය කිරීමේ සාර්ථකත්වය මතය.
ආරක්ෂක පියවරයන් සඳහා ඩ්‍රෝන යානා, හෙලිකොප්ටර් දෙකක් සහ උසස් කැමරා පද්ධති යොදා ගැනීමට ද සැලසුම් කර ඇත. මීට අමතරව කෝලාහල මර්දන පොලිස් ඒකකයක් සහ මුහුදු සීමාවන් නිරීක්ෂණය කිරීමට නව නෞකාවක් ද ප්‍රංශය විසින් යොදවනු ලබයි.
බ්‍රිතාන්‍ය රජය පවසන පරිදි, 2024 ජූලි මාසයේදී කීර් ස්ටාමර් (Keir Starmer) මහතාගේ රජය බලයට පත්වීමෙන් පසු ප්‍රංශය සමඟ එක්ව සිදුකළ මෙහෙයුම් මඟින් සංක්‍රමණික උත්සාහයන් 42,000 කට වඩා වළක්වා ගැනීමට ඔවුන් සමත්ව ඇත.














