විශ්වය ජයගැනීමේ අරමුණින් පසුගිය අප්‍රේල් 1 වනදා අභ්‍යවකාශගත වූ නාසා ආයතනයේ ‘ආටෙමිස් II’ (Artemis II) මෙහෙයුම සාර්ථකව අවසන් වුවද, එහි ගිය ගගනගාමීන් සිව්දෙනාට මුහුණ දීමට සිදු වූ අමුතුම ආකාරයේ තාක්ෂණික දෝෂයක් පිළිබඳව තොරතුරු දැන් අනාවරණය වී තිබේ. යානය තුළ වූ ඇමරිකානු ඩොලර් මිලියන 30ක් වටිනා අතිනවීන වැසිකිළි පද්ධතිය (UWMS) ගමන ආරම්භයේදීම අක්‍රිය වීම මෙයට හේතුවයි.
ගමන ආරම්භ වී පැය කිහිපයකින් වැසිකිළි පද්ධතියේ දෝෂයක් මතු වූ අතර, කාර්ය මණ්ඩලයේ සිටි ක්‍රිස්ටිනා කෝච් (Christina Koch) පෘථිවියේ උපදෙස් මත පැය හයක් පුරා සිදුකළ අලුත්වැඩියාවකින් එය තාවකාලිකව යථා තත්ත්වයට පත් කළාය. මේ හේතුවෙන් ඇයට “අභ්‍යවකාශ ජලනල කාර්මිකයා” (space plumber) යන අන්වර්ථ නාමය ද පටබැඳුණි.
ගමනේ තෙවන සහ හතරවන දිනවලදී අභ්‍යවකාශයේ අධික ශීතල හේතුවෙන් මුත්‍රා පිට කරන නළය තුළ දියර මිදී අයිස් බවට පත්වීම නිසා පද්ධතිය යළිත් අවහිර විය. මෙයට පිළියමක් ලෙස යානය හිරු රශ්මිය දෙසට හැරවීමෙන් අයිස් දිය කර හැරීමට පාලක මධ්‍යස්ථානය පියවර ගත්තේය.
තාක්ෂණික දෝෂ පවතින කාලය තුළ ගගනගාමීන්ට පැරණි ඇපලෝ මෙහෙයුම්වලදී මෙන් ප්ලාස්ටික් බෑග් (CCUs) භාවිතා කිරීමට සිදුවීම විශේෂත්වයකි. ඩොලර් බිලියන ගණනක තාක්ෂණය පවා සොබාදහමේ අවශ්‍යතා හමුවේ අසරණ වූ අයුරු මෙයින් මනාව පිළිබිඹු විය.
අප්‍රේල් 10 වනදා යානය නිරුපද්‍රිතව පෘථිවියට පැමිණියද, ඉදිරි සඳ තරණ මෙහෙයුම්වලදී (Artemis III) මෙවැනි ජීව ආධාරක පද්ධතිවල විශ්වසනීයත්වය පිළිබඳව නාසා ආයතනයට දැඩි අවධානයක් යොමු කිරීමට මෙම සිදුවීම බල කර තිබේ.














