චීනයේ ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන ගුවැන්ඩොං පළාතේ ෆොෂාන් නගරයේ කම්කරුවන් මේ වන විට දැඩි ආර්ථික පීඩනයකට මැදිව සිටිති. මීට පෙර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ වෙළෙඳ බදු හමුවේ වුවද සියයට 5 ක පමණ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් පවත්වා ගැනීමට චීනය සමත් වූ නමුත්, වත්මන් මැදපෙරදිග යුදමය වාතාවරණය චීන නිෂ්පාදන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කරමින් තිබේ. විශේෂයෙන්ම ගෝලීය බලශක්ති අර්බුදය සහ ප්‍රවාහන පිරිවැය ඉහළ යාම හේතුවෙන් විදේශීය ඇණවුම් සීමා වීම චීන කර්මාන්තශාලා මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වී ඇත.
චීන නිෂ්පාදන ක්ෂේත්‍රය ලාභදායී මහජන පරිභෝජන භාණ්ඩවල සිට උසස් තාක්ෂණික සහ ස්වයංක්‍රීය නිෂ්පාදන දක්වා පරිවර්තනය වෙමින් පවතින අතරතුර මෙම යුද්ධය පැමිණීම කම්කරුවන්ගේ රැකියා සුරක්ෂිතතාවට තර්ජනයක් වී තිබේ. ෆොෂාන් වැනි කාර්මික නගරවල කම්කරුවන්ට පැයකට ගෙවනු ලබන්නේ යුවාන් 18 ත් 20 ත් (ඩොලර් 3 කට අඩු) වැනි ඉතා සුළු මුදලකි. පවතින උද්ධමනය හමුවේ මෙම ආදායම සිය පවුල් නඩත්තු කිරීමට ප්‍රමාණවත් නොවන බව පවසන ඔවුහු, තමන් අතිශය දුෂ්කර ජීවන තත්ත්වයකට මුහුණ දී සිටින බව පෙන්වා දෙති. මෙම ආර්ථික පසුබෑම සහ දේශීය අසහනය වර්ධනය වීම වැළැක්වීම සඳහා මැදපෙරදිග යුද්ධය වහා අවසන් විය යුතු බවට චීන රජය දිගින් දිගටම ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ එබැවිනි.















