2021 වසරේදී දකුණු කොරියානු ගුවන් හමුදාවට අයත් F-15K ප්‍රහාරක යානා දෙකක් අහසේදී එකිනෙක ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට ගුවන් හමුදාව බ්‍රහස්පතින්දා (23) ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය. මෙම අනතුරට සෘජුවම හේතු වී ඇත්තේ ගුවන් නියමුවන් විසින් අවසරයකින් තොරව වීඩියෝ සහ සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ කිරීම බව විගණන වාර්තාවලින් හෙළි වීමත් සමඟ මෙම සමාව අයැදීම සිදු කර තිබේ. 2021 දෙසැම්බර් මාසයේදී දේගු (Daegu) නගරයට ඉහළින් පියාසර කරමින් තිබූ යානා දෙකක් මෙලෙස ගැටී ඇති අතර අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු නොවූවත් යානාවලට සිදු වූ හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 600,000ක පමණ පාඩුවක් සිදු වී තිබේ.
එක් ගුවන් නියමුවෙකු එම ඒකකයේ සිය අවසන් පියාසර වාරය සනිටුහන් කිරීමට වීඩියෝ දර්ශන ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර එහිදී කැමරා කෝණය නිවැරදි කර ගැනීම සඳහා අවසරයකින් තොරව යානය හදිසියේ ඉහළට එසවීමේදී අනෙක් යානයේ ගැටී ඇත. මෙම අනතුරට වගකිව යුතු ප්‍රධාන නියමුවාට දැඩි විනය පියවර ගෙන ඇති අතර ඔහු මේ වන විට හමුදාවෙන් ඉවත් වී තිබේ. එසේම අලුත්වැඩියා කටයුතු සඳහා වැය වූ මුදලින් දහයෙන් පංගුවක් ඔහුගෙන් අය කර ගැනීමට ද නියම කර ඇත. මින් ඉදිරියට පියාසර කිරීමේදී වීඩියෝ දර්ශන ලබා ගැනීම සම්බන්ධයෙන් පවතින නීති රීති දැඩි කිරීමට පියවර ගන්නා බව දකුණු කොරියානු ගුවන් හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.














