ඉන්දියාවේ බටහිර බෙංගාල සහ තමිල්නාඩු ප්‍රාන්තවල තීරණාත්මක ප්‍රාන්ත මැතිවරණ සඳහා ඡන්ද විමසීම අද ආරම්භ විය. මෙහි වඩාත්ම උණුසුම් මුහුණුවරක් ගෙන ඇත්තේ බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණයයි. එහි මුල් අදියර යටතේ දිස්ත්‍රික්ක 16ක ආසන 294න් 152ක් සඳහා අද ඡන්දය ප්‍රකාශ කෙරෙන අතර, අපේක්ෂකයෝ 1,478 දෙනෙක් ඒ සඳහා තරඟ වදිති. මැතිවරණයේ දෙවන අදියර ලබන සතියේදී පැවැත්වීමට නියමිතය.
ප්‍රධාන අමාත්‍ය මමතා බැනර්ජි ප්‍රමුඛ තෘණමූල් කොංග්‍රස් (TMC) පක්ෂය සිව්වන වරටත් බලය ලබා ගැනීමට උත්සාහ කරන අතර, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) ඇයව පරාජය කිරීම සඳහා දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කර තිබේ. විශේෂයෙන්ම මෙතෙක් භාරතීය ජනතා පක්ෂය පාලනය කර නොමැති මෙම ප්‍රාන්තය අත්පත් කර ගැනීම මෝඩි රජයේ ප්‍රධාන අරමුණ වී ඇත. ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය කිරීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක වාතාවරණය හමුවේ දේශපාලන උණුසුම තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඡන්ද විමසීම සිදු කෙරේ.















