දකුණු ලෙබනනයේ ටයිරි (Tayri) ගම්මානයේදී ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ලෙබනන මාධ්‍යවේදිනියක මියයාම සහ තවත් අයෙකු තුවාල ලැබීම සම්බන්ධයෙන් ලෙබනන අග්‍රාමාත්‍ය නවාෆ් සලාම් ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා එල්ල කර තිබේ. ‘අල්-අක්බාර්’ (Al-Akhbar) පුවත්පතේ සේවය කළ 43 හැවිරිදි අමල් කලීල් (Amal Khalil) මෙලෙස ජීවිතක්ෂයට පත් වූ අතර, ඇය සමඟ සිටි නිදහස් ඡායාරූප ශිල්පිනියක වන සෙයිනාබ් ෆරාජ් (Zeinab Faraj) ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත.
ලෙබනන බලධාරීන් පවසන පරිදි, ඔවුන් ගමන් කළ වාහනයට එල්ල වූ මූලික ප්‍රහාරයකින් පසු ඔවුන් නිවසක රැකවරණය පතා සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. තුවාල ලැබූවන් වෙත ළඟා වීමට උත්සාහ කළ ගිලන් රථයකට ද ඊශ්‍රායල හමුදා හිතාමතාම ප්‍රහාර එල්ල කළ බවට ලෙබනනය චෝදනා කරයි. කෙසේ වෙතත්, ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර තමන් මාධ්‍යවේදීන් ඉලක්ක නොකරන බවත් සහන කණ්ඩායම්වලට බාධා නොකළ බවත් ප්‍රකාශ කර සිටියි. දකුණු ලෙබනනයේ සේවය කරන මාධ්‍යවේදීන් දිගින් දිගටම මෙලෙස ඉලක්ක කිරීම හෙළා දකින බවත්, මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින් පියවර ගන්නා බවත් ලෙබනන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














