හිටපු අගමැති වික්ටර් ඕර්බන්ගේ රජය විසින් ඉදිරිපත් කරන ලද යුරෝ බිලියන 16.2ක ‘SAFE’ ආරක්ෂක සැලසුම දූෂණ අවදානම් පවතින බව පවසමින් හංගේරියාවේ නව පීටර් මැග්යාර් (Péter Magyar) රජය විසින් යළි සමාලෝචනය කිරීමට තීරණය කර තිබේ. රුසියානු තර්ජන හමුවේ යුරෝපා සංගමය විසින් හඳුන්වා දුන් සහන පොලී ණය ක්‍රමය යටතේ මෙම මූල්‍ය පහසුකම් ලබා ගැනීමට මීට පෙර සැලසුම් කර තිබුණි. ඕර්බන් රජය යටතේ ඉදිරිපත් වූ මෙම සැලසුම තුළ දූෂණ සහ අක්‍රමිකතා සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතින බව පීටර් මැග්යාර්ගේ කණ්ඩායම පෙන්වා දෙන අතර නව රජයේ මෙම ඉල්ලීමට යුරෝපා කොමිසම ද එකඟතාව පළ කර ඇත.
ඒ අනුව සැලසුම අනුමත කිරීමට පෙර එහි අරමුණු සහ විෂය පථය වෙනස් කිරීමට නව රජයට අවස්ථාව ලැබෙනු ඇත. යුරෝපා සංගමයේ සාමාජික රටවල් 19ක් අතර යුරෝ බිලියන 150ක් බෙදා දීමේ මෙම ‘SAFE’ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ කලාපීය ආරක්ෂක කර්මාන්ත ශක්තිමත් කිරීම සහ හමුදා සූදානම ඉහළ නැංවීමයි. හංගේරියාවේ නව පාලනය බලාපොරොත්තු වන්නේ මෙමගින් ආරක්ෂක ව්‍යාපෘති වඩාත් විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමටයි.














