ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම බලශක්ති සමාගමක් වන Woodside Energy හි නව ප්‍රධාන විධායක නිලධාරිනී ලිස් වෙස්කොට් (Liz Westcott) වෙනුවෙන් යෝජනා වී ඇති ඩොලර් මිලියන ගණනක වැටුප් පැකේජයට එරෙහිව එරට ප්‍රධාන විශ්‍රාම වැටුප් අරමුදලක් වන HESTA සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ. බ්‍රහස්පතින්දා පැවති සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ලිස් වෙස්කොට් සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 14.8 ක (ඇමරිකානු ඩොලර් මිලියන 10.57 ක පමණ) වැටුප් සහ වරප්‍රසාද පැකේජයක් අනුමත කිරීමට යෝජනා වී තිබුණි.
මෙම වැටුප් පැකේජය අනවශ්‍ය ලෙස ඉහළ අගයක් ගන්නා බවත්, ඕස්ට්‍රේලියානු කොටස් වෙළෙඳපොළේ (ASX) අනෙකුත් සමාගම් සමඟ සැසඳීමේදී එය සාධාරණීකරණය කළ නොහැකි බවත් HESTA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනී ඩෙබී බ්ලේකි සඳහන් කළාය. මූලික ඡන්ද ගණන් කිරීම්වලට අනුව, කොටස් හිමියන්ගෙන් 18% ක් පමණ මෙම වැටුප් වාර්තාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, තුනෙන් එකකට වැඩි පිරිසක් ඇයට කොටස් අයිතිය ලබා දීමේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත. දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ පැවති මෙම රැස්වීමේදී පරිසර ක්‍රියාකාරීන්ගේ ද විරෝධතා මතු වූ අතර, ඉන් එක් අයෙකු ආරක්ෂක අංශ විසින් ඉවත් කිරීමට ද කටයුතු කෙරුණි.















