හිටපු හමුදා බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ විසින් පවත්වාගෙන ගිය බව කියන අනීතික ‘ප්‍රහාරක බලකායක්’ පිළිබඳව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (22) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු අනාවරණය කළේය. 2015 වසරේ සිට දේශපාලනඥයන් ආරක්ෂා කිරීමට සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිස්වලට හිරිහැර කිරීමට මෙම බලකාය යොදාගෙන ඇති බවත්, යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් මීට සම්බන්ධ බවත් එහිදී ප්‍රකාශ විය.
පාස්කු ප්‍රහාරය සහ ඉන් අනතුරුව සිදුවූ දේශපාලන ක්‍රියාවලිය පිළිබඳව ද මෙහිදී බරපතල කරුණු හෙළි විය. සහරාන් හෂීම් සහ ඥාණසාර හිමි යන පාර්ශ්ව දෙකම යුද හමුදා බුද්ධි අංශ මගින් නඩත්තු කර ඇති බවත්, මේ සියලු සැලසුම් පිටුපස සුරේෂ් සලේ මහතා සිටින බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය. පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල ‘හැරවුම් ලක්ෂය’ මෙම පරීක්ෂණය බව පෙන්වා දුන් ඒ මහතා, ඊළඟ වසරේ සැමරුමට පෙර වගකිවයුතු සැමවිටම අත්අඩංගුවට ගන්නා බවට අධිකරණය හමුවේ සහතික විය.
දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ සුරේෂ් සලේ මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේ මෙම විමර්ශනවල ප්‍රගතිය ලබන මැයි මස 20 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.















