මෑතකදී ලබාගත් පොදු ජනවරමකට අනුව කසකස්තානය සිය රට තුළ පුළුල් ව්‍යවස්ථාපිත ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ විශ්වාසදායක බලශක්ති සැපයුම්කරුවෙකු ලෙස පෙනී සිටින අතරම, චීනය සමඟ පවතින ඩොලර් බිලියන ගණනක වෙළඳ සහ සැපයුම් ජාල (Logistics) සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමට එරට ජනාධිපති කාසිම්-ජොමාර්ට් ටෝකලෙව් (Kassym-Jomart Tokayev) කටයුතු කරමින් සිටී.
බීජිං නුවර පිහිටි කසකස්තාන තානාපති කාර්යාලය විසින් අප්‍රේල් 22 වනදා පවත්වන ලද මාධ්‍ය හමුවකදී, එරට ක්‍රියාත්මක වන නව ව්‍යවස්ථාපිත වෙනස්කම් සහ චීනය සමඟ පවතින බහුවිධ මිත්‍රශීලී සහයෝගීතාව පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කරන ලදී. මෙම ප්‍රතිසංස්කරණ මගින් කසකස්තානයේ අභ්‍යන්තර පාලන තන්ත්‍රය ශක්තිමත් කරන අතරම, කලාපීය වශයෙන් චීනය සමඟ පවතින ආර්ථික බැඳීම නව මාවතකට යොමු කිරීමට අපේක්ෂා කෙරේ.
මධ්‍යම ආසියාවේ ප්‍රමුඛ රටක් වන කසකස්තානය චීනයේ “එක් තීරයක් – එක් මාවතක්” (Belt and Road) වැඩපිළිවෙළේ ද ප්‍රධාන හවුල්කරුවෙකු වන අතර, මෙම නව දේශපාලන ස්ථාවරත්වය හරහා දෙරට අතර ආයෝජන අවස්ථා තවදුරටත් පුළුල් වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














