ජර්මනියේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන Volkswagen, 2030 වසර සඳහා චීන වෙළෙඳපොළ වෙනුවෙන් තබා තිබූ මධ්‍යකාලීන අලෙවි ඉලක්ක පහත දැමීමට තීරණය කර ඇති බව එම සමාගමේ චීන කලාපීය ප්‍රධානී රැල්ෆ් බ්‍රෑන්ඩ්ස්ටැටර් (Ralf Brandstaetter) ප්‍රකාශ කළේය. Handelsblatt පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කර තිබේ.
ඒ අනුව, 2030 වසර වන විට චීනය තුළ වාහන මිලියන 4ක් අලෙවි කිරීමට මීට පෙර තබා තිබූ ඉලක්කය වාහන මිලියන 3.2ක් දක්වා අඩු කර ඇත. ලොව විශාලතම මෝටර් රථ වෙළෙඳපොළ වන චීනය තුළ පවතින දැඩි තරගකාරීත්වය සහ ආර්ථික වෙනස්කම් හමුවේ සමාගම මෙම තීරණය ගෙන තිබේ. විශේෂයෙන්ම විදුලි මෝටර් රථ (EV) ක්ෂේත්‍රයේ චීන දේශීය නිෂ්පාදකයන්ගෙන් එල්ල වන දැඩි අභියෝගය හමුවේ සිය උපායමාර්ගික ඉලක්ක මෙලෙස සංශෝධනය කිරීමට Volkswagen සමාගමට සිදුව ඇත.















