ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයට ගෙවිය යුතු අරමුදල් සොරාගත් හැකර්වරුන්, ඉන්දියාවට ගෙවීමට තිබූ ණය මුදලක් ද අත්පත් කර ගැනීමට උත්සාහ කර ඇති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා අනාවරණය කළේය. බැංකු ගිණුම් අංක වෙනස් වන බව දැනගත් වහාම මහා භාණ්ඩාගාරය ක්‍රියාත්මක වීම නිසා එම උත්සාහය වළක්වා ගැනීමට හැකි වී තිබේ.
ඉන්දියාවට සිදු කිරීමට තිබූ ගෙවීම් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ, ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක (මිලියන 2.5ක) මුදලක් ඒ වන විටත් හැකර්වරුන් විසින් සොරාගෙන ඇති බවයි. මහා භාණ්ඩාගාරය සහ ඕස්ට්‍රේලියානු ආයතනය අතර හුවමාරු වූ ඊමේල් පණිවිඩ හැක් කිරීම (Email hacking) හරහා මෙම වංචාව සිදු කර තිබේ.
මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මහා භාණ්ඩාගාරය ද අභ්‍යන්තර පරීක්ෂණයක් සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇත. මෙම සිද්ධියට නිලධාරීන්ගේ සම්බන්ධයක් හෝ නොසලකා හැරීමක් සිදුවී ඇත්නම් ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා ද උපදෙස් දී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය














