ජර්මනියේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරික කටයුතු වසරකට ආසන්න කාලයකට පසු අප්‍රේල් මාසයේදී පළමු වරට පසුබෑමකට ලක්ව ඇති බව අද (23) නිකුත් වූ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. මැදපෙරදිග පවතින ඉරාන යුද්ධය හේතුවෙන් එරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ වේගය අඩාල වීම, ඉල්ලුම පහත වැටීම සහ භාණ්ඩ මිල ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
S&P Global ආයතනය විසින් සම්පාදනය කරන ලද ජර්මනියේ ‘සංයුක්ත ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය’ (Composite Flash PMI) මාර්තු මාසයේ පැවති 51.9 අගයේ සිට අප්‍රේල් මාසයේදී 48.3 දක්වා පහත වැටී ඇත. ආර්ථික විශ්ලේෂකයන් අපේක්ෂා කළේ මෙම දර්ශකය 51.2 ක වර්ධන මට්ටමක පවතිනු ඇති බව වුවද, යුදමය වාතාවරණය හමුවේ ජර්මානු ආර්ථිකය අනපේක්ෂිත පසුබෑමකට ලක්ව තිබේ. විශේෂයෙන්ම බලශක්ති මිල ඉහළ යාම සහ සැපයුම් දාමයට එල්ල වී ඇති බාධා හේතුවෙන් යුරෝපයේ විශාලතම ආර්ථිකය හිමි ජර්මනිය මෙලෙස දැඩි පීඩනයකට ලක්ව ඇති බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.














