ස්ටැම්ෆර්ඩ් බ්‍රිජ් (Stamford Bridge) ක්‍රීඩාංගණයේ වසර පහහමාරක දීර්ඝකාලීන ගිවිසුමකට අත්සන් තබා මාස හතරක් ගත වීමටත් පෙර, ලියම් රෝසෙනියර් (Liam Rosenior) චෙල්සි පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීමට කළමනාකාරීත්වය පියවර ගෙන තිබේ. පසුගිය ජනවාරි මාසයේදී එන්සෝ මරෙස්කා වෙනුවට වගකීම් භාරගත් 41 හැවිරිදි රෝසෙනියර් යටතේ චෙල්සි කණ්ඩායම ක්‍රීඩා කළ තරග 23න් තරග 10ක්ම පරාජයට පත් විය.
ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් (Strasbourg) කණ්ඩායම වසර අටකට පසු යුරෝපීය තරගාවලියක් සඳහා සුදුසුකම් ලැබීමට මඟ පෙන්වූ රෝසෙනියර්, ආකර්ෂණීය පාපන්දු රටාවක් හඳුන්වා දෙනු ඇතැයි ලොකු බලාපොරොත්තුවක් තිබුණි. කෙසේ වෙතත්, චෙල්සි කණ්ඩායම තුළ ඔහුට එම සාර්ථකත්වය අත්කර ගැනීමට නොහැකි වූ අතර, පරාජයන් හමුවේ ක්‍රීඩකයන් මත ඔහුට තිබූ පාලනය සහ අධිකාරිය ගිලිහී ගිය බව වාර්තා වේ.
රෝසෙනියර්ගේ පාලන කාලය තුළ චෙල්සි කණ්ඩායම ලබාගත්තේ ජයග්‍රහණ 11ක් සහ සමගතාවයන් දෙකක් පමණි. ඔහුගේ “පන්දු පාලනයට මුල්තැන දෙන” (Respecting the ball) ක්‍රීඩා විලාසය දක්ෂතා අතරට ඒමට ප්‍රමාණවත් නොවූ අතර, කණ්ඩායමේ පසුබෑම හමුවේ ඔහුට මෙලෙස අකාලයේ සිය ධුරයෙන් සමුගැනීමට සිදුවිය. චෙල්සි කණ්ඩායමේ මීළඟ පුහුණුකරු කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.














