2026 වසරේ මාර්තු මාසයේ අපනයන ආදායමේ යම් පසුබෑමක් දක්නට ලැබුණද, වසරේ පළමු මාස තුන (ජනවාරි – මාර්තු) සලකා බැලීමේදී ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය 1.59% ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) දත්ත වාර්තා පෙන්වා දෙයි. 2026 පළමු කාර්තුව තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 4,308.11 ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.
ශ්‍රී ලංකා රේගුවේ දත්තවලට අනුව 2026 මාර්තු මාසයේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,467.31 කි. එය 2025 මාර්තු මාසයට සාපේක්ෂව 5.2% ක වාර්ෂික පහත වැටීමක් වුවද, 2026 පෙබරවාරි මාසයට සාපේක්ෂව 9.0% ක මාසික වර්ධනයකි. මාර්තු මාසයේදී භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 1,180.36 ක් වූ අතර සේවා අපනයන ආදායම ඩොලර් මිලියන 286.92 ක් ලෙස වාර්තා වී ඇත.
EDB සභාපති මංගල විජේසිංහ මහතා පවසන්නේ ගෝලීය වෙළඳපළ අභියෝග හමුවේ වුවද ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ස්ථාවරව පවතින බවයි. වෙළඳ පහසුකම් වැඩිදියුණු කිරීම, නියාමන ක්‍රියාවලීන් විධිමත් කිරීම සහ වෙළඳපළ විවිධාංගීකරණය වැනි උපායමාර්ගික පියවර හරහා 2026 වසරේ වාර්ෂික අපනයන ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














