ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර නිල හමුවක් අද (අප්‍රේල් 23) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනුදු සමන් හෙන්නායක මහතා ද එක්ව සිටියේය.
දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තරුණ හා ක්‍රීඩා ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. රුසියාව සතු දියුණු ක්‍රීඩා තාක්ෂණය සහ පුහුණු ක්‍රමවේද ශ්‍රී ලංකාවට ලබාගැනීම මෙන්ම, දෙරටේ තරුණ පරපුර සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙහිදී එකඟතාව පළ විය.
මීට අමතරව, රුසියාවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සමුළුවලට සහභාගී වන ලෙස රුසියානු තානාපතිවරයා විසින් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වෙත නිල වශයෙන් ආරාධනා කරන ලදී. අමාත්‍යාංශ ලේකම් අරුණ බණ්ඩාර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම රුසියානු තානාපති කාර්යාලයේ දෙවන ලේකම් ගලීනා කුක්ලිනා මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම හමුව ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට ජාත්‍යන්තර අවස්ථා විවර කරදෙන තීරණාත්මක පියවරක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














