ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු ඩොලර් ලක්ෂ 25ක මුදල හැකර්වරුන් අත්පත් කරගැනීමෙන් අනතුරුව, ඉන්දියාවට ගෙවීමට තිබූ ණය මුදලක් ද එම ආකාරයෙන්ම කොල්ලකෑමට හැකර්වරුන් උත්සාහ කර ඇති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා අනාවරණය කළේය. කෙසේ වෙතත්, ගිණුම් අංක වෙනස් වන බව වටහාගත් වහාම මහා භාණ්ඩාගාරය ක්‍රියාත්මක වී අවශ්‍ය පියවර ගැනීම හේතුවෙන් ඉන්දියාවට ගෙවීමට ගිය එම මුදල අහිමි වීම වළක්වා ගැනීමට හැකි වූ බව ඒ මහතා සඳහන් කළේය.
මුදල් අමාත්‍යාංශය පවසන පරිදි, මෙම සයිබර් වංචාව සිදු කර ඇත්තේ මහා භාණ්ඩාගාරය සහ විදේශීය මූල්‍ය ආයතන අතර අන්තර්ජාලය හරහා හුවමාරු වන ඊමේල් පණිවිඩ හැක් කිරීම මගිනි. ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනය වෙත යොමු කිරීමට තිබූ ඩොලර් මිලියන 2.5ක මුදල මෙලෙස හැකර්වරුන්ගේ ගිණුමකට බැර වී ඇති බව හෙළි වූයේ ඉන්දියාවට අදාළ ගනුදෙනුව පිළිබඳව විමර්ශනය කිරීමේදීය.
මෙම බරපතල මූල්‍ය අපරාධය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, මහා භාණ්ඩාගාරය ද අභ්‍යන්තර කමිටුවක් හරහා විමර්ශන පවත්වයි. අදාළ පරීක්ෂණ කඩිනම් කර වැරදිකරුවන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා ද උපදෙස් දී ඇති බව අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.











