හැකර් ප්‍රහාරයක් හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක (මිලියන 2.5ක) මුදලක් රටට අහිමි වීම මූල්‍ය සුරක්ෂිතභාවය පිළිබඳ බරපතළ ගැටලුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා අවධාරණය කළේ ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ණය වාරිකයක් මෙලෙස අහිමි වීම පිටුපස රජයේ සහ වගකිවයුතු ආයතනවල බරපතළ නොසලකා හැරීමක් පවතින බවයි.
විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ මෙම මූල්‍ය කොල්ලය ජනවාරි මාසයේදී සිදුව තිබියදීත්, ඒ පිළිබඳ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට රජය මාර්තු මාසය වන තෙක් ප්‍රමාද වූයේ ඇයිද යන්නයි. මාස 4-5ක් පුරා මෙම බරපතළ මූල්‍ය හානිය පාර්ලිමේන්තුවට සහ රටට රහසක් ලෙස තබා ගැනීම පිළිබඳව ඔහු රජයට චෝදනා කරයි. එසේම මෙම වංචාව සම්බන්ධයෙන් පත් කර ඇති තාක්ෂණික කමිටුවේ ස්වාධීනත්වය සහ විනිවිදභාවය පිළිබඳවද ඔහු සැක පළ කරයි.
මූල්‍ය ගනුදෙනු සඳහා පවතින ලියාපදිංචි ඊමේල් (White Listed Email), ඇමතුම් මඟින් තහවුරු කිරීම (Call Verification) වැනි සයිබර් ආරක්ෂක ක්‍රියාමාර්ග තිබියදීත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවූයේ කෙසේද යන්න ගැටලුවක් බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මහ බැංකුව විසින් අවස්ථා කිහිපයකදීම අනතුරු අඟවා තිබියදීත්, රාජ්‍ය ණය කළමනාකරණ ආයතනය නිසි ආරක්ෂිත පියවර නොගැනීම හේතුවෙන් ජනතාවගේ බදු මුදල් මෙලෙස විනාශ වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
“ඇවිදින පුස්තකාල” සහ “ඩිජිටල් රාජ්‍යයක්” ගැන කතා කරමින් බලයට පැමිණි වත්මන් රජය, ප්‍රායෝගිකව රටේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීමට අපොහොසත් වී ඇති බව විපක්ෂ නායකවරයා පවසයි. මෙම අහිමි වූ මුදලට වන්දි ගෙවීමට සිදුවන්නේ රටේ ජනතාවගේ බදු මුදලින්ද යන්න ප්‍රශ්න කරන ඒ මහතා, වගකිවයුතු ආයතනවල නිලධාරීන්ම පරීක්ෂණ සඳහා පත් නොකර ස්වාධීන පරීක්ෂණයක් කඩිනමින් සිදු කරන ලෙස රජයට බලකර සිටියි.

















