අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ මාස 10කට අධික කාලයක් (දින 300කට වැඩි) ආගමන විගමන රැඳවුම් භාරයේ (ICE) පසුවූ කාන්තාවක සහ ඇගේ දරුවන් පස්දෙනා නිදහස් කිරීමට ටෙක්සාස් මධ්‍යම දිස්ත්‍රික් විනිසුරු ෆ්‍රෙඩ් බියරි නියෝග කර තිබේ. මෙය ට්‍රම්ප් පාලන සමය තුළ පවුලක් රැඳවුම් භාරයේ තබා ගත් දීර්ඝතම කාලය ලෙස වාර්තා වේ.
හයම් එල් ගමාල් සහ වයස අවුරුදු 5 සිට 18 දක්වා වූ ඇගේ දරුවන් පස්දෙනා පසුගිය වසරේ ජුනි මාසයේදී ෆෙඩරල් අත්අඩංගුවට පත්වූයේ ඇගේ හිටපු සැමියා වන මොහොමඩ් සබ්‍රි සොලිමන් විසින් කොලරාඩෝ හි සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් පසුවය. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ 82 හැවිරිදි කාන්තාවක පසුව මියගිය අතර, සොලිමන් අත්අඩංගුවට ගැනීමෙන් පසු හයම් ඔහුගෙන් දික්කසාද වී අදාළ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දුටුවාය.
අධිකරණ නියෝගය ලැබී පැය කිහිපයකට පසු පවුලේ සාමාජිකයන් නිදහස් කර ඇති අතර, හයම් සහ ඇගේ 18 හැවිරිදි වැඩිමහල් දියණිය වන හබීබා සොලිමන් හට විලංගු (Ankle Monitors) පැළඳ සිටීමට නියම කර ඇත. කෙසේ වෙතත්, අමෙරිකානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මෙම තීන්දුව දැඩි ලෙස විවේචනය කර ඇති අතර, “ත්‍රස්තවාදියෙකුගේ පවුල අමෙරිකානු වීදිවලට මුදාහැරීමට” ක්‍රියාකාරී විනිසුරුවරයෙකු ගත් තීරණයක් ලෙස මෙය හඳුන්වා දී තිබේ.
















