එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා, එක්සත් ජාතීන්ගේ දේශපාලන හා සාම සාධක කටයුතු පිළිබඳ සහකාර මහලේකම් ඛලීඩ් කියාරි (Khaled Khiari) මහතා සමඟ පසුගියදා (අප්‍රේල් 22) විශේෂ සාකච්ඡාවක නිරත විය. ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජයන්ත ජයසූරිය මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා එක්වන හමුදා කණ්ඩායම්වල පුහුණු සහ සූදානම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරන ලදී. මෙහෙයුම් සඳහා තෝරාගන්නා සියලුම සාමාජිකයන් මානව හිමිකම් විමර්ශන ප්‍රතිපත්තිය (HRDDP), ජාත්‍යන්තර මානුෂීය නීතිය (IHL) සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය (IHRL) පිළිබඳව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව වෘත්තීයමය පුහුණුවක් ලබන බව මෙහිදී අවධාරණය කෙරිණි.
විනයානුකූල සහ වගකීම් සහගත හමුදා කණ්ඩායමක් සහතික කිරීම සඳහා ශක්තිමත් විමර්ශන යාන්ත්‍රණ සහ වගවීමේ ක්‍රියාවලීන් ක්‍රියාත්මක වන බව ද ශ්‍රී ලංකා නියෝජිත පිරිස පෙන්වා දුන්හ. විශේෂයෙන්ම යම් ප්‍රමිතීන් උල්ලංඝනය කිරීමක් සිදු වුවහොත් ඒ පිළිබඳව විමර්ශනය කර වරදකරුවන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජාතික විමර්ශන නිලධාරියා (National Investigation Officer) සතු කාර්යභාරය පිළිබඳව ද මෙහිදී සහකාර මහලේකම්වරයා දැනුවත් කරන ලදී.














