එන්.ඩී.බී බැංකුව තුළ මෑතකදී අනාවරණය වූ රුපියල් බිලියන 13.2ක දැවැන්ත අභ්‍යන්තර මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් (Forensic Review) පැවැත්වීම සඳහා සුප්‍රසිද්ධ ඩෙලොයිට් (Deloitte Touche Tohmatsu India LLP) ආයතනය පත් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත සිදුකරන මෙම විමර්ශනය මඟින් අදාළ වංචාකාරී ගනුදෙනු සිදු වූ ආකාරය මෙන්ම බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධතිවල පවතින දුර්වලතා සහ අධීක්ෂණ අඩුපාඩු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත. මෙම විමර්ශනයේ අතුරු වාර්තා සහ අවසන් වාර්තාව සෘජුවම මහ බැංකුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එන්.ඩී.බී බැංකුව කොළඹ කොටස් වෙළඳපොළ වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.
බැංකුවේ සේවකයන් පිරිසක් සම්බන්ධ වී සිදුකර ඇති මෙම වංචාව හේතුවෙන් ගනුදෙනුකරුවන්ගේ ගිණුම් ශේෂයන්ට කිසිදු බලපෑමක් සිදු නොවන බවත්, බැංකු මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවත් මීට පෙර අවධාරණය කෙරිණි. කෙසේ වෙතත්, කොටස් හිමියන්, තැන්පත්කරුවන් සහ අනෙකුත් පාර්ශවකරුවන් වෙනුවෙන් විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම සඳහා මෙම ජාත්‍යන්තර මට්ටමේ විගණනය සිදු කිරීම අත්‍යවශ්‍ය පියවරක් බව බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය පෙන්වා දෙයි. මූල්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්වූ මෙම සිදුවීමට අදාළ සැබෑ තොරතුරු සහ වගකිවයුත්තන් අනාවරණය කර ගැනීමට මෙම වෝහාරික විමර්ශනය තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














