රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට එල්ල වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් කළ බව විෂය භාර අමාත්‍ය චන්දන අබේරත්න මහතා අද (24) ප්‍රකාශ කළේය.
මෙම සයිබර් ප්‍රහාරය එල්ල කළ පාර්ශවය අමාත්‍යාංශයේ දත්ත වෙන්දේසි කර මුදල් ලබා ගැනීමට උත්සාහ කර ඇති බව අනාවරණය වී තිබේ. කෙසේ වෙතත්, අමාත්‍යාංශයේ අතිශය සංවේදී තොරතුරුවලට හානියක් සිදුව නොමැති බවත්, වෙනත් පාර්ශවයක් අතට පත්ව ඇත්තේ පොදු තොරතුරු කිහිපයක් පමණක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් මේ පිළිබඳව තාක්ෂණික විමර්ශනයක් ආරම්භ කර ඇත. මීට අමතරව, මහා භාණ්ඩාගාරයේ විදෙස් ණය ගෙවීමකදී ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීමේ සිද්ධිය පිළිබඳව ද ඔවුන් විශේෂ පරීක්ෂණයක් පවත්වනු ලබයි.
අමාත්‍යාංශ ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් සිදු කළ පැමිණිල්ලට අනුව, සයිබර් ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ඇත.














