ජර්මානු සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදකයෙකු වන පෝර්ෂේ (Porsche) සමාගම, ලොව සුප්‍රසිද්ධ බුගාටි (Bugatti) සහ රිමාක් (Rimac) යන සන්නාමයන්හි තමන් සතු කොටස් විකිණීමට තීරණය කර තිබේ. සිය පිරිවැය අවම කර ගනිමින් මූලික ව්‍යාපාරික කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව එම සමාගම අද (24) ප්‍රකාශ කළේය.
මෙම ගනුදෙනුව යටතේ, පෝර්ෂේ සමාගම ‘බුගාටි රිමාක්’ හවුල් ව්‍යාපාරයේ සතු සියයට 45ක කොටස් සහ ‘රිමාක් සමූහයේ’ සතු සියයට 20.6ක කොටස්, ඇමෙරිකානු අරමුදලක් ප්‍රමුඛ ආයෝජක සමූහයක් වෙත අලෙවි කරනු ඇත. මෙම ආයෝජක කණ්ඩායමට ඊජිප්තුවේ ප්‍රකෝටිපති සාවිරිස් (Sawiris) පවුලේ සාමාජිකයෙකු විසින් සම-ස්ථාපනය කරන ලද BlueFive Capital ආයතනය ද ඇතුළත් වේ.
පෝර්ෂේ ප්‍රධාන විධායක නිලධාරී මයිකල් ලයිටර්ස් මහතා සඳහන් කළේ, බුගාටි සන්නාමයේ අනාගතය සඳහා ශක්තිමත් පදනමක් දැමීමෙන් පසු, දැන් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරික ඉලක්කයන් කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා මෙම විකිණීම සිදු කරන බවයි. මෝටර් රථ ක්ෂේත්‍රයේ පවතින දැඩි තරඟකාරීත්වය සහ මූල්‍ය පීඩනය හමුවේ ප්‍රාග්ධනය නිදහස් කර ගැනීම සඳහා පෝර්ෂේ ගත් මෙම තීරණය ඉතා තීරණාත්මක එකක් ලෙස මූල්‍ය විශ්ලේෂකයෝ හඳුන්වති.














