විද්‍යුත් ලිපින (Emails) හරහා මහා භාණ්ඩාගාරයේ පද්ධතියට ඇතුළු වී අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහය ඇතිව පුළුල් විමර්ශනයක් පවත්වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (24) ප්‍රකාශ කළාය.
අග්‍රාමාත්‍යවරිය අද පෙරවරුවේ මහනුවර මල්වතු මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසුවාය.
මෙම සයිබර් සොරකම සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, අදාළ මුදල් සොයා ගැනීම සහ ඊට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා විදේශීය විශේෂඥ සහාය ද ලබා ගැනීමට රජය පියවර ගෙන තිබේ. රජයේ මූල්‍ය පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීමටත්, මෙවැනි සිදුවීම් ඉදිරියට වළක්වා ගැනීමටත් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ඇය මෙහිදී අවධාරණය කළාය.














