ජර්මනියේ ප්‍රමුඛතම බැංකුවක් වන කොමර්ස්බෑන්ක් (Commerzbank), සිය ව්‍යාපාරික උපායමාර්ගික සැලසුම් යාවත්කාලීන කිරීමේ පියවරක් ලෙස තවත් රැකියා කප්පාදුවක් සිදු කිරීමට සූදානම් වන බව ජර්මානු පුවත් වාර්තා සඳහන් කරයි. ඉතාලියේ යුනික්‍රෙඩිට් (UniCredit) බැංකුව විසින් කොමර්ස්බෑන්ක් අත්පත් කර ගැනීමට දරන උත්සාහය දැඩි වී ඇති පසුබිමක මෙම තීරණය ගෙන ඇති බව Handelsblatt පුවත්පත අද (24) වාර්තා කළේය.
මෙම රැකියා කප්පාදුව කොපමණ ප්‍රමාණයකින් සිදු කරන්නේද යන්න පිළිබඳව බැංකුව මෙතෙක් නිල තීරණයක් ගෙන නොමැති අතර, ලබන මැයි 08 වන දින සිය නව උපායමාර්ගික සැලසුම් පිළිබඳ විස්තර ඉදිරිපත් කරන බව බැංකු ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ. කොමර්ස්බෑන්ක් ආයතනය පසුගිය වසර කිහිපය තුළද අවස්ථා දෙකකදී සිය කාර්ය මණ්ඩලය අඩු කිරීමට පියවර ගෙන තිබුණි.
යුනික්‍රෙඩිට් බැංකුව මේ වන විට කොමර්ස්බෑන්ක් හි සියයට 30කට අධික කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට උත්සාහ කරමින් සිටින අතර, එය ජර්මානු නීතියට අනුව බැංකුව සම්පූර්ණයෙන් අත්පත් කර ගැනීමේ (Takeover) ක්‍රියාවලියක ආරම්භයක් ලෙස සැලකේ. මෙම විදේශීය බලපෑම හමුවේ සිය ස්වාධීනත්වය සහ ලාභදායීත්වය තහවුරු කර ගැනීම සඳහා කොමර්ස්බෑන්ක් පාලනාධිකාරිය මෙලෙස දැඩි තීරණවලට එළඹෙමින් සිටින බව මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














