ඉන්දියාවේ ප්‍රකෝටිපති මුකේෂ් අම්බානිගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් (Reliance Industries) සමාගමට අයත් ඇස්ටීරියා ඒරෝස්පේස් (Asteria Aerospace) ආයතනයට අදාළ ඩ්‍රෝන යානා ආනයනය කිරීමේ අනුමැතිය ලබා ගැනීම සඳහා අල්ලස් ලබාදුන් බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ රක්ෂිත බන්ධනාගාරගත කිරීම මැයි මස 06 වනදා දක්වා දීර්ඝ කිරීමට ඉන්දීය අධිකරණය අද (24) නියෝග කළේය.
මෙලෙස රැඳවුම් කාලය දීර්ඝ කෙරුණේ ඉන්දීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ (DGCA) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මුදවත් දේවුලා සහ රිලයන්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති භාරත් මාතුර් යන මහත්වරුන්ගේය. ඇස්ටීරියා ඒරෝස්පේස් ආයතනයේ ඩ්‍රෝන ආනයන අයදුම්පත් අනුමත කිරීම සඳහා අමෙරිකානු ඩොලර් 16,000ක (ආසන්න වශයෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 13කට අධික) අල්ලසක් ලබා ගැනීමට එකඟ වූ බවට මොවුන්ට එරෙහිව ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) චෝදනා නගා ඇත.
ඉන්දියාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික ආයතනයක් සහ රජයේ නියාමන ආයතනයක් සම්බන්ධ වී ඇති මෙම අල්ලස් විමර්ශනය එරට ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ දැඩි කැලඹීමක් ඇති කර තිබේ. රිලයන්ස් සමාගම සිය ආරක්ෂක සහ තාක්ෂණික ක්ෂේත්‍ර පුළුල් කිරීමට උත්සාහ කරන මොහොතක, එහි ඉහළ පෙළේ නිලධාරියෙකු මෙලෙස දූෂණ චෝදනාවකට ලක්වීම එම සමාගමේ කීර්තිනාමයට ද බලපෑම් එල්ල කර ඇත.
















