WhatsApp සහ Telegram හරහා ලැබෙන “.apk” ගොනු මගින් සිදුකරන භයානක මූල්‍ය වංචාවක් පිළිබඳව වහාම අවධානය යොමු කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මංගල ආරාධනා පත්‍ර, විදුලි බිල්පත් හෝ දිනුම් ඇදීම්වලට අදාළ ලේඛන ලෙස පෙනී සිටිමින් එවන මෙම ගොනු විවෘත කළ සැණින් ඔබේ දුරකථනය හැකර්වරුන්ගේ ග්‍රහණයට නතු වීමේ අවදානමක් පවතී.
මෙම අනතුරුදායක මෘදුකාංග දුරකථනයට ඇතුළු වූ පසු හැකර්වරුන්ට ඔබේ දුරකථන තිරය දුරස්ථව පාලනය කිරීමටත්, ඔබ වෙත ලැබෙන SMS පණිවිඩ කියවීමටත් හැකියාව ලැබේ. මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ බැංකු ගිණුම්වලින් මුදල් ලබාගැනීමට අවශ්‍ය වන රහසිගත OTP කේතයන් ඔබ නොදැනුවත්වම ඔවුන් සතු කර ගැනීමයි.
නාඳුනන අංකයකින් හෝ මිතුරෙකුගේ නමින් වුවද ලැබෙන සැකකටයුතු “.apk” ගොනු කිසිවිටෙකත් බාගත කිරීම හෝ විවෘත කිරීමෙන් වළකින්න. දුරකථනයට අවශ්‍ය මෘදුකාංග ලබාගැනීමේදී සැමවිටම Google Play Store හෝ Apple App Store පමණක් භාවිතා කළ යුතු අතර, දුරකථන Settings තුළ ඇති “Install Unknown Apps” යන පහසුකම අක්‍රිය කර තැබීමට ද පොලීසිය උපදෙස් දෙයි.
යම් හෙයකින් ඔබ මෙවැනි වංචාවකට හසු වුවහොත්, ප්‍රමාද නොවී වහාම ඔබේ බැංකු ගිණුම් අත්හිටුවීමට කටයුතු කළ යුතුය. අනතුරුව ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට වහාම දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය වැඩිදුරටත් දන්වා සිටියි.













