කොළඹ කොටුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පිහිටි අඩි 20ක් පමණ උසැති මාර්ග සංඥා කුළුණක් මත නැඟී පැයකට අධික කාලයක් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය පවසයි. වැලිඔය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන අයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
මෙම පුද්ගලයා මාර්ග සංඥා කුළුණ මතට නැඟ “ජනාධිපතිතුමා හමුවිය යුතු බවත්” සහ “තමන්ට ඇති බන්ධනයක් කපාගත යුතු බවත්” පවසමින් රැඳී සිට තිබේ. පොලිස් නිලධාරීන් ඔහුට ඉන් බසින ලෙස කළ දැනුම්දීම් ප්‍රතික්ෂේප කළ සැකකරු, බලහත්කාරයෙන් බැස්සවීමට උත්සාහ කළහොත් තොණ්ඩුවක් ගෙලට දමාගෙන මියයන බවට තර්ජනය කර ඇත.
තත්ත්වය පාලනය කිරීම සඳහා කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ජම්පින් මෙට්ටයක් සහ ඉනිමන් රථයක් එම ස්ථානයට ගෙන්වා තිබුණි. කුළුණ මත සිටි පුද්ගලයා අසලට ඉනිමන් රථය එසවීමේදී, ඔහු එකවරම චීත්ත රෙද්දකින් සාදාගත් තොණ්ඩුව ගෙලට දමා කුළුණෙන් පැන තිබේ.
එහෙත් එම අවස්ථාවේදීම තොණ්ඩුව කැඩී යාම හේතුවෙන් ඔහු පහත අතුරා තිබූ ජම්පින් මෙට්ටය මතට වැටී ඇති අතර, ඉන් පසුව පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. මෙට්ටය මතට වැටුණු සැකකරු “අනේ මට ගහන්න එපා” යැයි පවසමින් කෑගසා ඇති බව ද වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














