දිට්වා සුළි කුණාටුවත් සමඟ පසුගිය වසරේ නොවැම්බර් මස අගදී සිදුවූ යහන්ගල කන්ද නායයාමෙන් විපතට පත් හසලක, උඩත්තව නෙළුම්මල ගම්මානයේ ජනතාව මාස හතරක් ගතවී ඇතත් තවමත් පීඩාවට පත්ව සිටිති. මෙම ව්‍යසනයෙන් පුද්ගලයන් 31 දෙනෙකු අතුරුදන් වූ අතර නිවාස 14ක් සහ අක්කර සිය ගණනක කුඹුරු ඉඩම් මුළුමනින්ම විනාශ විය.
නෙළුම්මල ගම්මානයට අමතරව ඒ අවට පිහිටි අඹගහගෙදර, නාරම්පත, අස්වැද්දුම, කෙන්ගොල්ල සහ මැදකැළේ යන ගම්මාන සඳහා ද දැනට පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් ඉවත් වීමේ නිර්දේශ නිකුත් කර ඇත. කෙසේ වෙතත්, තවමත් තමන්ගේ ජීවිත යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වීම පිළිබඳව ගම්වාසීහු දැඩි කනස්සල්ල පළ කරති.
ආරක්ෂිත පියවරක් ලෙස එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස දන්වා තිබුණ ද, තමන් පදිංචිව සිටි ගම්මානවලට ආසන්නයෙන්ම පදිංචිය සඳහා සුදුසු ඉඩම් ලබා දීමට රජය කටයුතු කළ යුතු බව ගම්වාසීන් ඉල්ලා සිටිති. තමන්ගේ ජීවනෝපාය මාර්ගයන්ට බාධා නොවන පරිදි විධිමත් පදිංචි කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.















