කෙන්යාවේ නයිරෝබි නුවර පැවති ‘Kip Keino Classic’ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 89.28ක දැවැන්ත දුරක් හෙල්ල විසි කරමින් නව තරග වාර්තාවක් සමඟ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග සමත් විය. මෙහිදී ඔහු ලෝක ප්‍රකට ක්‍රීඩකයන් රැසක් පරාජයට පත් කළ අතර, ඒ අතරට ජර්මනියේ ඔලිම්පික් ශූර තෝමස් රෝලර් (Thomas Röhler) සහ කෙන්යාවේ ඔලිම්පික් රිදී පදක්කම්ලාභී මෙන්ම ලෝක ශූර ජූලියස් යේගෝ (Julius Yego) ද ඇතුළත් වීම සුවිශේෂී කරුණකි.
මෙය රුමේෂ් තරංග විසින් දින 30ක් ඇතුළත මීටර් 89 සීමාව පසුකළ දෙවන අවස්ථාව වන අතර, එමගින් ජාත්‍යන්තර මට්ටමේ ඔහුගේ ස්ථාවරත්වය සහ දක්ෂතාවය මනාව තහවුරු වේ. ලෝක මලල ක්‍රීඩා සංගමය (World Athletics) ද ඔහුගේ මෙම විශිෂ්ට ජයග්‍රහණය අගය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සුබපැතුම් එක් කර තිබේ. මෙම වසරේ ලොව කැපී පෙනෙන හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයෙකු ලෙස රුමේෂ් තරංග මේ වන විට පෙරමුණට පැමිණ සිටින අතර, ඔහුගේ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයට අලුත් බලාපොරොත්තුවක් එක් කර ඇත.














