දැඩි ආර්ථික අර්බුදයකින් පසුව වුවද ශ්‍රී ලංකාව තුළ නිදහස් හා සාධාරණ මැතිවරණ තුනක් පැවැත්වීමට හැකිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ද බොර් මහතා සිය ප්‍රසාදය පළ කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී තානාපතිවරයා මේ බව සඳහන් කළේය. මෙම හමුවේදී දෙරට අතර පවතින ඓතිහාසික සබඳතා පිළිබඳව සිහිපත් කළ අතර, විශේෂයෙන්ම යටත්විජිත සමයේදී මෙරටින් රැගෙන ගිය පුරාවස්තු යළි මෙරටට ගෙන ඒමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකාවේ විශේෂඥයින්ගෙන් ලැබෙන දායකත්වය ද තානාපතිවරයාගේ ඇගයීමට ලක් විය.
මීට අමතරව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නංවාලීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. වංචා සහ දූෂණ වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම හරහා අත්කර ගත හැකි ආර්ථික අවස්ථාවන් සම්බන්ධයෙන් ද දෙපාර්ශවයේ අවධානය යොමු විය. ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන කටයුතු සඳහා නෙදර්ලන්තයේ සහයෝගය අඛණ්ඩව ලබාදීම පිළිබඳව ද මෙහිදී සාධනීය අදහස් හුවමාරු කරගත් බව වාර්තා වේ.














