අමෙරිකා එක්සත් ජනපදයේ ගිණිකොණදිග කලාපය පුරා මේ වන විට දරුණු ලැව්ගිනි තත්ත්වයක් හටගෙන ඇති අතර, ඉන් ජෝර්ජියා ප්‍රාන්තයට වාර්තාගත දේපළ හානි සිදුව ඇති බව වාර්තා වේ. ජෝර්ජියා ආණ්ඩුකාර බ්‍රයන් කෙම්ප් විසින් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 91ක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ නිවාස සහ ගොඩනැගිලි 120කට අධික සංඛ්‍යාවක් ගින්නෙන් විනාශ වීමත් සමඟය. විශේෂයෙන්ම ‘Highway 82’ සහ ‘Pineland Road’ ලෙස හඳුන්වන ප්‍රධාන ලැව්ගිනි දෙකක් පාලනය කිරීමට බලධාරීන් දැඩි උත්සාහයක නිරත වන අතර, ඉන් එකක් සාදයකට භාවිත කළ බැලූනයක් නිසාත් අනෙක පෑස්සුම් උපකරණයකින් නිකුත් වූ ගිනි පුපුරක් නිසාත් හටගෙන ඇති බව අනාවරණය වී ඇත.
ජෝර්ජියාවට අමතරව ෆ්ලොරිඩා, දකුණු කැරොලිනා සහ ඇලබාමා යන අසල්වැසි ප්‍රාන්තවල ද ලැව්ගිනි දුසිම් ගණනක් වාර්තා වී ඇති අතර, කලාපය පුරා පවතින දැඩි නියං තත්ත්වය මෙම ගිනි පැතිරයාමට ප්‍රධාන හේතුව වී තිබේ. සහන සේවා කණ්ඩායම් සහ ගිනි නිවන භටයන් දිවා රෑ නොබලා ගිනි නිවීමේ කටයුතුවල නිරත වුවද, පවතින වියළි කාලගුණය හේතුවෙන් මෙහෙයුම් සඳහා දැඩි බාධා එල්ල වී ඇත. මෙම ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට ද ප්‍රාන්ත රජයන් පියවර ගනිමින් සිටියි.














