වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වූ ‘සාගරිකා’ දුම්රිය මේ වන විට සාර්ථකව යළි පීලිගත කිරීමට දුම්රිය බලධාරීන් සමත්ව තිබේ. පීලිගත කිරීමෙන් අනතුරුව එම දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානය වෙත යොමු කර ඇති බව වාර්තා වේ. ඊයේ (24) උදෑසන සිදුවූ මෙම අනතුර හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වූ අතර මගීන් දැඩි අපහසුතාවයට පත් විය.
කෙසේ වෙතත්, අනතුරින් පසු ඊයේ රාත්‍රියේදීම එක් දුම්රිය මාර්ගයක් ගමනාගමනය සඳහා විවෘත කිරීමට පියවර ගත් අතර අද උදෑසන වන විට පීලි පැනීමෙන් සිදුවූ හානි බොහෝ දුරට යථා තත්ත්වයට පත් කර ඇත. ඉතිරි අලුත්වැඩියා කටයුතු ද කඩිනමින් අවසන් කිරීමට නියමිත අතර මේ වන විට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.













