ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියට ඇතුළු වී සයිබර් අපරාධකරුවන් විසින් සිදුකළ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල් සොරකම සම්බන්ධ විමර්ශන සඳහා ඕස්ට්‍රේලියානු නිලධාරීන්ගේ සහය හිමිවෙමින් පවතින බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා ප්‍රකාශ කර තිබේ. ඕස්ට්‍රේලියාවට ගෙවීමට නියමිතව තිබූ ද්විපාර්ශ්වික ණය වාරිකයකට අදාළව මෙම මුදල් වංචාව සිදුව ඇති අතර, පසුගිය ජනවාරි මාසයේදී මෙම මුදල් වෙනත් ගිණුම් වෙත හරවා යැවීමට සයිබර් අපරාධකරුවන් කටයුතු කර ඇත. ශ්‍රී ලංකා රජය විසින් නියමිත පරිදි අදාළ ගෙවීම් සිදුකර තිබුණද, අපරාධකරුවන් මැදිහත් වී එම මුදල් අපගමනය කර ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා තහවුරු කරයි.
කැන්බරා නුවර සිටින ඕස්ට්‍රේලියානු නිලධාරීන් මෙම විමර්ශන සඳහා සක්‍රීයව දායක වන අතර, මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය වෙනුවෙන් ඕස්ට්‍රේලියාව ලබාදෙන සහයෝගයට බාධාවක් නොවන බවද මහ කොමසාරිස්වරයා අවධාරණය කර සිටී. මේ වන විට ශ්‍රී ලංකාවේ අදාළ ආයතන කිහිපයක් එක්ව මෙම මහා පරිමාණ සයිබර් මංකොල්ලය පිළිබඳ පුළුල් පරීක්ෂණ පවත්වමින් සිටින අතර, අතුරුදන් වූ මුදල් සොයා ගැනීමට ජාත්‍යන්තර සහයෝගය අඛණ්ඩව ලබා ගනිමින් පවතී.














