හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෘද සැත්කමකට භාජනය වී සිය නිවසේ සුවය ලබමින් සිටින අවස්ථාවක, ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට රහස් පොලිස් කණ්ඩායමක් පැමිණීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සිය දැඩි කණගාටුව පළ කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පූර්ණ අවධානය යොමු කරමින් සිටින මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද දීර්ඝ කාලයක සිට අසනීප තත්ත්වයෙන් පසුවන බවත්, මෙවැනි සංවේදී මොහොතක පොලිසිය නිවසට පැමිණීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ඔහු අවධාරණය කරයි.
විශේෂයෙන්ම සැත්කමෙන් පසු සුවය ලබන හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය සලකා දේශපාලන කටයුතු සඳහා හෝ බාහිර පුද්ගලයන්ට නිවසට පැමිණීම සීමා කර ඇති පසුබිමක, රහස් පොලිසිය මෙලෙස පැමිණීම රෝගී තත්ත්වයන්ට පවා තර්ජනයක් විය හැකි බව වජිර අබේවර්ධන මහතා පෙන්වා දෙයි. ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය නම් වෙනත් සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කළ හැකිව තිබියදී, හදිසියේම නිවසට පැමිණීම දේශපාලනික වශයෙන් බලපෑම් කිරීමේ උත්සාහයක් දැයි සැකයක් මතුවන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.














