රුසියානු පාර්ලිමේන්තුවේ කථානායක සහ ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ගේ සමීපතම මිතුරෙකු වන වියචෙස්ලාව් වොලොඩින් අද විශේෂ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා උතුරු කොරියාවට පැමිණ තිබේ. යුක්රේන යුද්ධයේදී රුසියානු හමුදාවන්ට සහාය වීම සඳහා උතුරු කොරියානු සෙබළුන් යෙදවීම සැමරීම වෙනුවෙන් ප්යොන්යැං අගනුවර සංවිධානය කර ඇති විශේෂ උත්සවයකට සහභාගී වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි. එහිදී උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ සමීපතම දේශපාලන සගයෙකු වන ජෝ යොං වොන් විසින් රුසියානු කථානායකවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
බටහිර බුද්ධි අංශ වාර්තා කරන පරිදි මේ වන විට උතුරු කොරියානු සෙබළුන් 14,000ක් පමණ රුසියාව වෙනුවෙන් යුද වැදී සිටින අතර ඉන් 6,000කට වැඩි පිරිසක් ගැටුම්වලදී මියගොස් ඇති බවට තොරතුරු අනාවරණය වේ. මෙම සංචාරයේදී රුසියාවේ ‘කුර්ස්ක් කලාපය’ යුක්රේන පාලනයෙන් මුදාගෙන වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයට ද රුසියානු කථානායකවරයා සහභාගී වීමට නියමිතය. 2024 වසරේදී රුසියාව සහ උතුරු කොරියාව අතර අත්සන් කරන ලද උපායමාර්ගික ආරක්ෂක ගිවිසුමෙන් අනතුරුව දෙරට අතර පවතින දේශපාලන සහ යුදමය සබඳතා පෙර නොවූ විරූ මට්ටමකින් ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව මෙම සංචාරය හරහා යළිත් තහවුරු වේ.













