ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කෙරෙමින් පවතින පසුබිමක, ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ පිහිටි හෙස්බොල්ලා ඉලක්ක වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ. ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, සිය සොල්දාදුවන්ට සහ සිවිල් වැසියන්ට එල්ල වන තර්ජන ඉවත් කිරීම සඳහා මෙම ප්‍රහාර එල්ල කරන බවයි.
පසුගිය සෙනසුරාදා දකුණු ලෙබනනයේ තායිබේ (Taybeh) ගම්මානය ආසන්නයේ ප්‍රබල පිපිරීම් රැසක් සිදු වූ අතර ඉන් විශාල දුම් වලාකුළු අහසට නැඟෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. ඊශ්‍රායලය පවසන්නේ හෙස්බොල්ලා සංවිධානය මෙම ගොඩනැගිලි භාවිත කරමින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වූ බවයි. මෙම ප්‍රහාර වාර්තා වන්නේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පවතින සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කරන බව ප්‍රකාශ කර තිබූ පසුබිමක වීම විශේෂත්වයකි.
කෙසේ වෙතත්, ඊශ්‍රායලය මෙන්ම හෙස්බොල්ලා සංවිධානය ද එකිනෙකාට චෝදනා කරන්නේ අනෙක් පාර්ශවය සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කර ඇති බවයි. කලාපීය සාමය උදෙසා ඇමෙරිකාව සහ පකිස්ථානය දරන උත්සාහයන් මධ්‍යයේ මෙලෙස දේශසීමා ආශ්‍රිතව ගැටුම් ඇවිළී යාම ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අවධානයට ලක්ව තිබේ.
















