සෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටි කිං අබ්දුල්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තීරණාත්මක අවසන් මහා තරඟයේදී ජපානයේ මචීඩා සෙල්වියා (Machida Zelvia) කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජය කරමින් ආසියානු චැම්පියන්ස් ලීග් එලයිට් (Asian Champions League Elite) ශූරතාව පිට පිට දෙවන වරටත් තහවුරු කර ගැනීමට අල් අහ්ලි (Al-Ahli) කණ්ඩායම සමත් විය. තරඟයේ නියමිත කාලය තුළ දෙපාර්ශවයටම ගෝලයක් රැස් කිරීමට නොහැකි වූ අතර, අතිරේක කාලයේදී ෆෙරාස් අල් බ්‍රිකාන් (Feras Al-Brikan) වාර්තා කළ අගනා ගෝලය ජයග්‍රහණය තීරණය කළේය.
මෙම ජයග්‍රහණය වඩාත් සුවිශේෂී වන්නේ තරඟයේ 68 වන මිනිත්තුවේදී අල් අහ්ලි ක්‍රීඩක සකාරියා හව්සාවි රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වීම හේතුවෙන් ඔවුන් ක්‍රීඩකයින් 10 දෙනෙකුට සීමා වී සිටි පසුබිමකය. එලෙස ක්‍රීඩකයින් අඩු වුවද ප්‍රබල ආරක්ෂක සහ ප්‍රහාරක උපක්‍රම යොදා ගනිමින් ජපන් කණ්ඩායම මෙල්ල කිරීමට මැතියස් ජයිස්ලේගේ (Matthias Jaissle) අල් අහ්ලි කණ්ඩායම සමත් විය. අල් අහ්ලි කණ්ඩායමේ ගෝල රකින්නා වූ එඩුවාඩ් මෙන්ඩි (Edouard Mendy) ජපන් කණ්ඩායම එල්ල කළ භයානක ප්‍රහාර රැසක් වැළැක්වීමට සමත් වීම ද කැපී පෙනුණි.
තරඟය නැරඹීමට පැමිණ සිටි 59,000කට අධික ප්‍රේක්ෂකයින් පිනවමින් රියාද් මාරෙස් (Riyad Mahrez) ලබා දුන් දක්ෂ පන්දුවක් හරහා ෆ්‍රෑන්ක් කෙසී (Franck Kessie) විසින් සකස් කර දුන් අවස්ථාවෙන් අල් බ්‍රිකාන් ජයග්‍රාහී ගෝලය රැස් කළේය. මේ සමඟින් ආසියානු චැම්පියන්ස් ලීග් ඉතිහාසයේ මෙම කිරුළ පිට පිට දෙවරක් දිනාගත් දෙවන කණ්ඩායම ලෙස අල් අහ්ලි ඉතිහාසයට එක් වේ.
















