ඇමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන ගැටුම හේතුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන සැපයුම් ජාල ඇනහිටීම නිසා ඕස්ට්‍රේලියාව දැඩි තාර (Bitumen) හිඟයකට මුහුණ දී සිටී. මේ හේතුවෙන් එරට පාරවල් තැනීම සඳහා දශක ගණනාවක් තිස්සේ භාවිත කළ උසස් ප්‍රමිතියෙන් යුතු C170 තාර වෙනුවට, ඇමෙරිකානු සහ යුරෝපීය දේශගුණයට ගැළපෙන C240 වර්ගයේ තාර භාවිත කිරීමට ෆෙඩරල් රජය අවසර ලබා දී තිබේ.
ඕස්ට්‍රේලියාවේ පවතින දැඩි සූර්ය රශ්මිය සහ තාපය යටතේ මෙතෙක් භාවිත කළ තාර මෘදු වී පාරවල් ආරක්ෂා කළද, අලුතින් ගෙන්වන මෙම C240 වර්ගයේ තාර වඩාත් ඝනකම් සහ තද බැවින් ඉක්මනින් ඉරිතලා යාමේ ප්‍රවණතාවක් පවතින බව ප්‍රවාහන පර්යේෂණ ආයතන පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් වසර 10ක් පවතින ඕස්ට්‍රේලියානු මාර්ගවල ආයු කාලය මෙම නව තාර භාවිතය නිසා 30%කින් පමණ අඩුවනු ඇතැයි ගණන් බලා ඇත. එනම්, වසර හයක් හෝ හතක් වැනි කෙටි කාලයකදී මාර්ග යළි ප්‍රතිසංස්කරණය කිරීමට සිදුවනු ඇති අතර, මෙය පළාත් පාලන ආයතනවලට විශාල මූල්‍ය බරක් වනු ඇතැයි පැවසේ.
















