ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදලක් පරිගණක හැකර්වරුන් විසින් වංචනිකව ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී රජයට එරෙහිව දැඩි විරෝධයක් මතු කිරීමට විපක්ෂය තීරණය කර තිබේ. ලබන මැයි මස 5 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙම මූල්‍ය වංචාව පිළිබඳව එහිදී ප්‍රශ්න කිරීමට සූදානමින් සිටී.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කර සිටින්නේ මෙය භාණ්ඩාගාරය ප්‍රසිද්ධියේ කොල්ලකෑමක් බඳු ක්‍රියාවක් බවයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මීට සෘජුව වගකිව යුතු බවත්, ඔවුන් වහාම තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු අවධාරණය කළේය. මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් ද පාර්ලිමේන්තුවේදී විශේෂ පැහැදිලි කිරීමක් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.














