මුදල් අමාත්‍යාංශය විසින් ඕස්ට්‍රේලියාවේ ණයකරුවෙකුට ගෙවීමට ගිය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක (ලක්ෂ 25ක) මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී. අදාළ ගෙවීම සිදුකිරීමට භාවිතා කළ බැංකු ගිණුම සැකකටයුතු එකක් බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශයට පූර්ව අනතුරු ඇඟවීමක් කර තිබියදීත්, එම මුදල් ගෙවීමට අනුමැතිය ලබා දුන්නේ කවුද යන්න පිළිබඳව දැන් ප්‍රශ්න මතු වෙමින් පවතී.
වාර්තා වන අන්දමට, ඕස්ට්‍රේලියාවට සිදු කිරීමට තිබූ ගෙවීම් පහක් අතරින් හතරකට අදාළ මුදල ලෙස මෙම ඩොලර් ලක්ෂ 25 ගිණුම් පොත්වල සටහන්ව ඇති අතර, අතුරුදන් වී ඇත්තේ එම මුදලයි. ඉතිරි එක් ගෙවීමක් පමණක් නියමිත නිවැරදි ගිණුමට බැර වී ඇති බව වාර්තා වේ. මහ බැංකුවේ අවවාද නොතකා වැරදි ගිණුමකට මුදල් බැර කිරීමට අණ දුන් නිලධාරියා හෝ පාර්ශ්වය කවුද යන්න විමර්ශනවල ප්‍රධානතම ඉලක්කය වී තිබේ.
මේ අතර, අතුරුදන් වූ මෙම දැවැන්ත මුදල් ප්‍රමාණය ඕස්ට්‍රේලියාවේ ප්‍රබල කැසිනෝ ව්‍යාපාරික ආයතනයක ගිණුමට බැර වී ඇති බවට තහවුරු නොකළ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සිදුවීම හුදු තාක්ෂණික දෝෂයක්ද නැතහොත් සැලසුම් සහගත මූල්‍ය වංචාවක්ද යන්න පිළිබඳව මුදල් අමාත්‍යාංශය සහ ආරක්ෂක අංශ මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.














