මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ වුවද, මෙරටට අවශ්‍ය දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම නිවේදනය කරයි. මෙම නෞකාව මගින් බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක ප්‍රමාණයක් මෙරටට රැගෙන එනු ලබයි.
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ, අද පැමිණෙන මෙම නෞකාවත් සමඟ අප්‍රේල් මාසය සඳහා මෙරටට අවශ්‍ය සමස්ත බොරතෙල් ප්‍රමාණය සම්පූර්ණ වන බවයි. මැදපෙරදිග අස්ථාවරත්වය හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයන්ට බලපෑම් එල්ල වී ඇති පසුබිමක, මෙලෙස අඛණ්ඩව ඉන්ධන සැපයුම පවත්වාගෙන යාමට හැකිවීම මෙරට බලශක්ති සුරක්ෂිතතාව සම්බන්ධයෙන් වැදගත් පියවරකි.
මෙම බොරතෙල් තොගය ගොඩබෑමෙන් අනතුරුව සපුගස්කන්ද පිරිපහදුව වෙත කඩිනමින් යොමු කිරීමට නියමිත අතර, එමඟින් දේශීය වෙළෙඳපොළට අවශ්‍ය ඉන්ධන සැපයුම බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකි වනු ඇතැයි බලධාරීන් විශ්වාසය පළ කරයි.














