මුළු මහත් ලෝකයේම අවධානය මැදපෙරදිග කලාපය දෙසට යොමුව තිබියදී, ජාත්‍යන්තර දේශපාලන කරළිය උඩුයටිකුරු කරන සුවිශේෂී තීරණයක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබුවා. මීට පෙර කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මෙම හදිසි මැදිහත්වීමත් සමඟ, කලින් සැලසුම් කර තිබූ තීරණාත්මක විදෙස් සංචාරයක් අවසන් මොහොතේදී අත්හිටුවීමටයි කටයුතු කෙරුණේ. මේ හරහා මැදපෙරදිග සාමය උදෙසා වූ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් හමුවේ අමෙරිකාව සිය දැඩි ස්ථාවරය යළිත් වරක් ලොවට විදහා දක්වා තිබෙනවා.
මෙලෙස සංචාරය අත්හිටුවන ලෙස නියෝග කර ඇත්තේ අමෙරිකානු විශේෂ නියෝජිතයින් වන ස්ටීව් විට්කොෆ් සහ ජෙරාඩ් කුෂ්නර් හටයි. මැදපෙරදිග යුද ගැටුම් නිරාකරණය කිරීමේ සාකච්ඡා සඳහා ඔවුන් ඊයේ (25) පාකිස්තානය බලා යාමට සූදානම්ව සිටියද, කිසිදු සාකච්ඡාවක් සිදුකිරීමට නොමැති පසුබිමක පැය 18ක දීර්ඝ ගුවන් ගමනක් අවශ්‍ය නොවන බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. මෙම තීරණයට හේතු වී ඇත්තේ ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස පාකිස්තානයේදී කළ ප්‍රකාශයයි. ඉරානය පැහැදිලිවම සඳහන් කර ඇත්තේ අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡා වටයක් සඳහා තමන් සූදානම් නොමැති බවයි.
ඉරාන දූත පිරිස ඊයේ දින පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවී එරටින් පිටත්ව ගොස් ඇති අතර, ඔවුන්ගේ එම දැඩි ස්ථාවරය හමුවේ අමෙරිකාවද සිය සංචාරය වහාම අවලංගු කිරීමට පියවර ගත්තා. මැදපෙරදිග අර්බුදය තවදුරටත් සංකීර්ණ වෙමින් පවතින පසුබිමක, බලවත් රාජ්‍යයන් දෙකක් අතර ඇතිවූ මෙම සෘජු ගැටුම ඉදිරි ලෝක දේශපාලන ප්‍රවණතාවල තීරණාත්මක හැරවුම් ලක්ෂයකි. ගෞරවාන්විත සාකච්ඡාවකට ඉඩක් නොමැති තැන, නිරර්ථක ගමන් බිමන්වලට තමන් සූදානම් නැති බව ට්‍රම්ප්ගේ මෙම පියවරෙන් මැනවින් පසක් වේ.














