ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර පවතින බිඳෙනසුලු සටන් විරාමය මධ්‍යයේ, පසුගිය ඉරිදා (26) ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. දකුණු ලෙබනනයේ ගම්මාන කිහිපයක පදිංචිකරුවන්ට වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) නිවේදනය කිරීමෙන් පසු මෙම ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල වී තිබේ.
මෙම ප්‍රහාර එල්ල වූයේ හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් 19 හැවිරිදි ඊශ්‍රායල සෙබළෙකු මිය යාමත් සමඟය. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර සිටියේ හිස්බුල්ලා ක්‍රියාවන් හේතුවෙන් සටන් විරාමය බිඳ වැටෙමින් පවතින බවත්, තම රටේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක බලය භාවිතා කිරීමට පසුබට නොවන බවත්ය. අප්‍රේල් 16 වැනිදා ආරම්භ වූ මෙම සටන් විරාමය තවදුරටත් දීර්ඝ කර තිබුණද, දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා කරමින් ප්‍රහාර එල්ල කර ගැනීම කලාපීය සාමයට දැඩි තර්ජනයක් වී තිබේ.














