සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා සිය ගම්මිරිස් වගාවෙන් වසරකට රුපියල් ලක්ෂ 21ක ආදායමක් ලබන බවට කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ ප්‍රායෝගික නොවන එකක් බව සජබ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරියවංශ බාලසූරිය මහතා පවසයි. තමන් ද ගම්මිරිස් වගාකරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු ලෙස අදාළ ආදායම් වාර්තාවල ඇති දෝෂ පෙන්වා දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
වෙළඳපොළේ ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 2000ක් පමණ වන පසුබිමක, අක්කරයකින් ලබාගත හැකි උපරිම අස්වැන්න කිලෝ 600-650ක් පමණ වන බව ඔහු පෙන්වා දෙයි. ඒ අනුව උපරිම ඵලදාවක් ලැබුණද අක්කරයකින් ලැබිය හැක්කේ රුපියල් ලක්ෂ 12ක පමණ ආදායමකි. අස්වැන්න අඩු කාලවලදී එම ආදායම ලක්ෂ එකහමාරක් දක්වා පහත වැටෙන බැවින් අමාත්‍යවරයා පවසන ලක්ෂ 21ක ආදායම ගණිතමය වශයෙන් පරස්පර බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
මුලින් මෙම ඉඩම තමන්ගේ යැයි පවසා පසුව එහි හවුල්කරුවන් සිටින බව පැවසීම හරහා පෙනී යන්නේ, පාලකයින් පසුගිය කාලයේ උපයාගත් සැකකටයුතු වත්කම් කෘෂිකාර්මික ආදායම් ලෙස පෙන්වා නීත්‍යානුකූල කර ගැනීමට දරන උත්සාහයක් බවට බාලසූරිය මහතා චෝදනා කළේය.
පොහොර මිල ඉහළ යාම සහ අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව ගොවීන් දැඩි පීඩනයකට පත්ව සිටින මොහොතක, වගකීම් විරහිත ලෙස මෙවැනි ප්‍රකාශ කිරීම ජනතාව මුලා කිරීමක් බවත්, ආණ්ඩුව තුළ සිදුවන සැබෑ මූල්‍ය වංචා වසා ගැනීමට මෙවැනි උපක්‍රම භාවිතා නොකළ යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.














