නායයෑමේ අධි අවදානම් කලාපවල ජීවත්වන වතු ප්‍රජාව සුරක්ෂිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන “මලෛයග මහිල්චිචි” වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ නව නිවාස 34ක් සඳහා මුල්ගල් තැබීම ඊයේ (26) සිදු විය. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල නායබැද්ද වත්තේදී සහ හල්දුමුල්ල මල්වන් කොටසේදී මෙම උත්සව පැවැත්විණි.
නායයෑමේ අවදානමට ලක්ව සිටින නායබැද්ද වත්තේ පවුල් 11ක් සහ මල්වන් කොටසේ පවුල් 23ක් වෙනුවෙන් මෙම නිවාස ඉදි කෙරේ. මේ සඳහා රජය රුපියල් මිලියන 108කට අධික මුදලක් වැය කිරීමට නියමිත අතර එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 28ක් ද, යටිතල පහසුකම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 04ක් ද වෙන් කර ඇත. මීට අමතරව සෑම ප්‍රතිලාභියෙකුටම පර්චස් 10ක ඉඩමක් ද හිමි වේ.
මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවින්ද්‍ර බණ්ඩාර සහ අම්භිකා සාමිවේල් යන මහත්ම මහත්මීන් ද, අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. වැවිලි ක්ෂේත්‍රයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම වැඩසටහනේ මූලික අභිප්‍රාය වී තිබේ.














