මෙවර IPL තරගාවලියේ අතිශය උද්වේගකර අවසානයක් සනිටුහන් කරමින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදවා සුපිරි පන්දුවාරයක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. මුලින් පන්දුවට පහරදුන් කොල්කටා පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 155ක් ලබාගත් අතර එහිදී රින්කු සිං පන්දු 51කදී නොදැවී ලකුණු 83ක් රැස් කළේ හතරේ පහරවල් 4ක් පිට පිට එල්ල කරමිනි. ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් ද ලකුණු 34ක් ලබා ගනිමින් සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණීම කොල්කටා පිලට විශාල ශක්තියක් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් පිලට ද පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ ලකුණු 155ක් පමණි. මොහොමඩ් ෂාමි අවසන් පන්දුවේදී එල්ල කළ හයේ පහර නිසා තරගය සමවී සුපිරි පන්දුවාරයක් (Super Over) දක්වා ඇදී ගියද, එහිදී ලක්නව් පිලට ලබාගත හැකි වූයේ එක් ලකුණක් පමණි. සුනිල් නරේන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ලක්නව් පිල අසරණ වූ අතර, රින්කු සිං සුපිරි පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම කොල්කටා පිල ජයග්‍රහණය කරා මෙහෙයවීය. මෙම ජයග්‍රහණයත් සමඟ කොල්කටා පිල ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.














